Preview: තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ සිටින ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ධීවරයන් 60කට වැඩි පිරිසක් සහ බෝට්ටු රැසක් සම්බන්ධයෙන් මෙම ඉල්ලීම සිදු කර තිබේ.
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවන තමිල්නාඩු ධීවරයන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන ලෙස තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, විජේ විසින් මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නිල ලිපියක් යොමු කර ඇති බව සඳහන් වේ.
එම ලිපිය මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) දිනයේ බෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගත් මන්ඩපම් ප්‍රදේශයේ පදිංචි ධීවරයන් 06 දෙනෙකු පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.
ඊට අමතරව, මේ වනවිට තවත් ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගතව සිටින බවත්, ඔවුන්ගේ ඉක්මන් නිදහස සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහ ඇමතිවරයා ඉල්ලා තිබෙනවා.
තවද, ඉන්දීය ධීවර බෝට්ටු 264 ක් පමණ මේ වනවිට ශ්‍රී ලංකා බලධාරීන්ගේ භාරයේ පවතින බවද ඔහු පෙන්වා දී ඇති අතර, එම ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කඩිනම් සාකච්ඡා ආරම්භ කරන ලෙසද තලපති විජේ සිය ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.