Preview: පල්ලේගම හේමරතන හිමියන්ගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය තාවකාලිකව අත්හිටුවීමට මල්වතු මහා විහාරය තීරණය කරයි. මෙම තීරණයට හේතු වූ කරුණු සහ අටමස්ථානාධිපති ධුරයට සිදු කළ නව පත්කිරීම ගැන මෙතැනින් දැනගන්න.
මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහා සංඝ සභාව විසින් පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වන තෙක් උන්වහන්සේ දරන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත හිමි බලතල අනුව බව සඳහන් වේ.
එමෙන්ම, අටමස්ථාන කමිටුව විසින් ගනු ලැබූ තවත් තීරණයක් අනුව, ගරුතර කාරක මහා සංඝ සභාවේ උපදෙස් මත උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී වන ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා පත් කර ඇත.
අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන තෙක් මෙම විධිවිධාන බලපැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන් වේ.